ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව මහත් භක්ත්‍යාදරයෙන් සමරනු ලබන උදාරතර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාව වෙත මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනුයේ ඉමහත් ගෞරවයෙනි.
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුලම එකම පොහෝ දිනක සිදුවීම ලෝක ඉතිහාසයේම වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු කෙරෙන් නොදුටු අතිශය සුවිශේෂී වූත්, ආශ්චර්යවත් වූත් සිදුවීමකි. මිනිස් ලොව උපත ලබා, මිනිසෙකු ලෙසම උත්තරීතර බුද්ධත්වයට පත්ව, මිනිස් සංහතියටම විමුක්ති මාර්ගය පෙන්වා වදාළ ඒ මහා ප්‍රඥාවන්තයාණන්ගේ ජීවන දර්ශනය අදටත් අප සැමට ඉමහත් ආදර්ශයකි.
භාග්‍යවතුන් වහන්සේ මිනිස් ජීවිතය උපමා කළේ මඩේ පිපී, මඩෙන් පෝෂණය වී, නමුත් මඩ තැවරීමකින් තොරව දියෙන් උඩට මතු වී ලොවම සුවඳවත් කරන සුපිපුණු නෙලුම් මලකටය. වර්තමාන සමාජ, ආර්ථික සහ දේශපාලනික වටපිටාව දෙස බලන විට මෙම "නෙලුම් මලේ උපමාව" අප සැමට දෙන පණිවිඩය අතිශය ගැඹුරුය.
"යථා සංකාරධානස්මිං - උජ්ඣිතස්මිං මහාපථේ - පදුමං තත්ථ ජායේථ - සුචිගන්ධං රමෝරමං" (මහා මාර්ගය අද්දර දමන ලද කුණු කසළ ගොඩක වුවද, පිරිසිදු සුවඳැති මනරම් නෙලුම් මලක් පිපෙන්නා සේ...)
සමස්ත සමාජයම අද පත්ව ඇත්තේ මෙවැනි අභියෝගාත්මක පසුබිමකය. එහෙත් සැබෑ නායකත්වය සහ උදාර මිනිස්කම රැඳී පවතින්නේ, එම දුෂ්කරතා මැද වුවද, මඩේ ඉපිද මඩෙන් පෝෂණය ලබා, කිසිදු ලෙසකිනුත් තමා වෙත "මඩ නොගා ගනිමින්" දියෙන් උඩට මතු වූ නෙලුම් මලක් සේ පිරිසිදුව සමාජයට සුවඳක් විහිදුවීම තුළය. දූෂණය, වෛරය සහ ආත්මාර්ථකාමීත්වය නමැති මඩ ගොහොරුවෙන් මිදී, පරහිතකාමී සහ පිරිසිදු ප්‍රතිපත්තිගරුක සංස්කෘතියක් රට තුළ බිහිකිරීමට අප සැම අධිෂ්ඨාන කරගත යුත්තේ බුදු වදනින් ලැබෙන මෙම උතුම් පූර්වාදර්ශය පෙරදැරි කරගනිමිනි.
සියලු ජන කොටස් අතර සාමය, සංහිඳියාව, සාධාරණත්වය සහ පිරිසිදු පාලනයක් රජයන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට බුදුදහමේ ආලෝකය අප සැමට ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමි..! සැමට සාමය, සතුට සපිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!
Lanka Newsweek © 2026